හදවත ගැහෙන්නෙකුගේ නිහඬ සිතිවිලි...

Tuesday, May 1, 2018

උණුහුම...

නිමිත්ත : "හිරු අතින් මුකුලිත වූ මල් කැකුළිය සඳු අතගෙන ගෝල් ෆේස් පිටියේ " - පුවතක්

පාද රැඳුණු කිංකිණි කිසිවක් නොකියම උන්නා
ඈත බලන් හැඬුව දෑසෙ දිස්නය රැවු දුන්නා
රෝස පාට මල් පෙති මත තොල් පෙති රස රැඳුනා
පාට පාට ෆැන්ටසියක මත්වුණු හිත ඇදුනා

මාල හතක් පැළඳ යන්න වර නොලැබෙන හින්දා
පාට අහසෙ මුතුඇට පොට ඈ අත්ලෙහි රන්දා
ගාට ගාට ඇවිදින් හැඟුමක් තනිකම බින්දා
පාන නිවුණු කල සේලය පොලවේ සුව වින්දා

ජීවිතයට එළියක් පතමින් ලතැවුනු හින්දා
මුකුලිත දිවියට යලි හිරු වග නොකියන හින්දා
හැඟීම් ඈ හදවත පරයා ගියාද මන්දා
දිවා හිරුගෙ ලද උණුහුම සඳුගෙන් රෑ වින්දා

Monday, April 30, 2018

In Time සහ සැබෑ ජීවිතය


"කාලය" මනුස්සයෙක්ට කොයි තරම් වටිනවද?

ඔෆිස් එකට යන්න එක තත්පරයක් පරක්කු උනාම රතු ඉර ගහන රටක ජීවත්වෙන අපිට, කාලය කියන්නෙ මොනතරම් වටින සම්පතක්ද කියලා පෙන්නන්න අමුතුවෙන් උදාහරණ මොකටද...

කතන්දරේ පටන්ගන්න කලින් මම පුංචි ප්‍රශ්ණයක් අහන්නද?

In Time කියන චිත්‍රපටිය බලලා තියෙනවද?

හරි! බලපු අයට ආයෙ මතක්වෙන්නයි, නොබලපු අයට දැනගන්නයි, මට මතක විදියට කෙටියෙන් චිත්‍රපටිය ගැන කියන්නම්කො.

මේ කතාවෙ හැටියට පොඩි ළමයෙක්ගෙ ඉඳලා, හැම කෙනෙක්ගෙම අතේ කාලයක් සටහන් වෙලා තියෙනවා.ඒ ඒ කෙනා ජීවත්වෙන කාලය තමයි ඒ.හොඳම වගේම දරුණුම දේ (මට හිතෙන විදියට) මිනිස්සුන්ට අවශ්‍යතා වලට ගෙවන්න වෙන්නෙත් මේ අතේ සටහන් වෙන කාලයෙන්ම තමයි.

උදාහරණයක් විදියට, කාර් එකක් ගන්න ඕනෙනම්... ඒකට ගෙවන්න ඕනෙ මුදල්වලින් නෙමෙයි, කාලයෙන්.එහෙම ගෙවන්න ගෙවන්න තමන්ගෙ කාලය අඩු වෙනවා.හැබැයි කෙනෙක්ට පුළුවන් තව කෙනෙක්ගෙන් කාලය හුවමාරු කරගන්න.ඒත් ඉතින් කවුද කැමති එහෙම කරගන්න, තමන්ට කිසිම වාසියක් නැතුව.

ලංකාවෙත් මෙහෙම උනා නම් හොඳයි කියල නිකමටවත් හිතෙන්නෙ  නැද්ද? 😏

මගේ එක විනාඩියක වටිනාකම දන්නෙ මම විතරයි.අපි කාගෙත් එහෙම තමයි, ඒත් කවුරුවත් එහෙම හිතන්නෙ නැති එකයි ප්‍රශ්ණෙ.සමහර කන්තෝරු වලට ගිහින් වැඩක් කරගන්න පැය ගානක් පෝලිම් වල ඉන්න වෙන වෙලාවල් තියෙනවා.සමහර වෙලාවට බැලුවම අදාල කෙනා එතන නැති නිසා එහෙම වෙනවා.මෑතකදි එක්තරා කාර්යාලෙකට ගිහින් ලේඛන පිටපතක් ගන්න ගියපු වෙලාවක්! එක මිස් කෙනෙක්ගෙ උපන්දිනේකට කාර්යාලෙ පුරා කිරිටොෆි බෙදනවා.පෝළිමේ මිනිස්සු හැම දෙනෙක්ටම ඉන්න උනා, කාර්යාලෙ හැමෝම කිරිටොෆි කාල, තේත් බීලා ඉවර වෙනකන්.

"පළමුව සේවය"
එතන වීදුරුවක ගහලා තිබුණු මේ කියමන දැකල හිනා ගියාට, මම ඒ හිනාවුනේ මමත් අයත්වෙන අපේ  සාමාන්‍ය ජනතාවටම නේද කියලත් හිතුණා!

ප.ලි - In Time චිත්‍රපටිය බලපු නැති කෙනෙක් ඉන්නවනම්, මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්!

Monday, September 11, 2017

වෙඩිමක්!


"අඩෝ ...........! (සංස්කෘත වචනයක්!)
උඹ නොකියම බැන්දා නේද?"


එකට හිටපු යාළුවො සෙට් එකේ එකෙක්, නොකියා වෙඩින් එකක් අරන්, ඒ ගැන ආරංචි උනාම ඔහොමයි බනින්නෙ.හරියට අපි නැතුව වෙඩිම ගත්ත එක දඩ ගහන්න තරම් වැරද්දක් වගේ.ටික වෙලාවක් කල්පනා කරලා බැලුවේ, අපි ඇත්තටම ඔය කියන තරම් වෙඩින් වලට යන්න ආසද?

පිස්සුවක් ඇතෑ! අතේ මිටේ තියෙන තුට්ටුවටත් තට්ටු කරන්, ට්‍රිප් එකක් යන්න තරමෙ ආසාවෙන් වෙඩිමකට යන්න කවුරුහරි පුන පුනා බලන් ඉන්නවා කියල මටනම් හිතෙන්නෙ නෑ.

ඒත්... කාලෙකින් සෙට් වෙන්න තියෙන චාන්ස් එක නිසා, ඕපදුපයක් හලන්න ලැබෙන චාන්ස් එක නිසා, සෙල්ෆියක් දෙකක් ගන්න ලැබෙන චාන්ස් එක නිසා කොහොමහරි වෙඩින් වලට යන අයත් ඔය අතරෙම ඉන්නවා.

වෙඩිමකට වැරදිලා හරි ඉන්වයිට් එකක් ආවොත්...


#යාළුවෙක්ට - මචං උඹ ගාව තිබ්බ නේද අර ෂූ දෙකක්, අහවල් දවසට වැඩක් නැත්නම් මට දියන්කො, මෙන්න මේ අපේ එකෙක්ගේ වෙඩිමක්!
#ඔෆිස්එකට - ඇඩ්වාන්ස් එකක් දාගන්න පුළුවන්ද, මෙන්න මේ මගුලක් ඇවිල්ලා!
#තවයාළුවෙක්ට - අඳින්න එකකුත් නෑ බං, රෙන්ට් එකට ගන්න වෙන්නෙ!

මොනවා හරි කරලා ඔය ප්‍රශ්ණ ටික විසඳ ගත්ත කියහන්කෝ, ඊ ගාවට තමා දැවෙන ප්‍රශ්ණේ එන්නෙ...

"මේ ඒක නෙමේ, උඹ කියක් දෙනවද?"

දන්න කාලෙ ඉඳන් පැවතගෙන එන රුපියල් 1000 සම්ප්‍රදායත් ඔන්න දැන් ටිකෙන් ටික ඈත් වීගෙන යනවා.බොනවනම් කොහොමත් 1000ක් දෙන්න බෑ කියල මතක්වෙනවා.අකමැත්තෙන් උනත් දෙදාහකට කෙළ උනා කියල හිත හදාගන්නවා. (ඒකනේ ප්‍රයෝගිකව වෙන සින් එක?)

අප්පේ! කියන්න අමතක වෙච්ච සීන් එක.අතේ තියෙන තුට්ටුවත් තියාගෙන, අනුන්ගෙන් සපත්තු දෙකකුත් ඉල්ලගෙන කොල්ලො වෙඩිමට යන්න මෙහෙම සෙට් උනාට කෙල්ලො එහෙම නෑ නේ.ජීවිතේට තව කෙල්ලෙක්ගෙන් ඇඳුමක් ඉල්ලනවද කොච්චර ෆිට් උනත්, සෙකන්ඩ් වෙන්න කැමති නෑනේ.අළුතෙන්ම ඇඳුමක් තමා ඕන, එක්කො අම්මට වදකරනවා, නැත්නම් ඉතින්... ඔව් ඔව් කොල්ලට තමා නැත්නම්...

"මේ අම්මේ, ඉස්කෝලෙ යාළුවො සෙට් එකම එනවා, මම හිඟන්නි වගේ යන්නද?" 
"මේ බලන්න, අහවලා ගත්ත සාරි එක.වර්ක් කරන්න විතරක් අච්චර ගානක් ගිහින්"
"එයාලා යනවා කිවුවෙ අහවල් සැලෝන් එකට, කීයක් ගියත් ඊට හොඳ එකකට යන්න ඕන"
"බෑ බබා, මේක ගිය මාසේ වෙඩින් එකටත් දැම්මා.අලුත් එකක් ගමු!"

ඔය කතන්දර අතරෙ වෙඩිමට සල්ලි දෙනවට වඩා තෑගි දෙන්නනෙ දඟලන්නෙ, ඇත්තම කතාව කියන්නේ... ඇඳුම් වලට, හොටෙල් එකට එන්න ත්‍රිවිල් වලට වියදම් කලාට පස්සේ දෙන්න අතේ සතයක් නෑ, ඉතින් තෑග්ගක් දීලා ශේප් වෙන්නනෙ කවුරුත් බලන්නෙ.ෆොටෝ ෆ්‍රේම් එකක්, ලස්සන චිත්‍රයක්, ගැස් කුකර් එකක්.. ඔයාදී නානාප්‍රකාර තෑගි ගන්න වෙනවා.

ඉතින් ඔය කරදර සේරම ගැන කල්පනා කරලා බලද්දී, ඇත්තටම අපි කැමතියි වෙඩිමක් ආවම කපල් එකට අපිව මතක් නොවෙනවනම්.මෙතෙක් කල් අපිව අමතක වෙච්ච, හෝ අමතක කරපු කපල් වලට හදපිරි ප්‍රණාමය පිරිනමන ගමන්, ඒ අය ආදර්ශෙට ගන්න කියල වෙන්ඩ මිස්ටර් & මිසිස්ලගෙනුත් ඉල්ලනවා!

වෙඩිමක් ගිය දුර, හම්මේ! ☺

Friday, August 25, 2017

REJECT වුණු කවිය...


ඉඩක් නැති නුඹෙ 
හිත් වෙරළ උඩ 
හැල්මෙ දුවනා 
කකුළුවෙක් මම.. 

හමන රැළි මත 
මිහිර සොයනා 
ඔහේ පාවෙන 
පරඬැලක් මම..

ඇදෙන රළකින්
ගොඩට දැමු 
මදකුදුත් නොවටින
බෙලි කටුව මම.. 

හිඳිනු බැරි තැන
ඉවසලා මුදු
රැල්ල මැකු
පෙම් මිහිරි කව මම..

- ලක්ෂාන්

Friday, October 23, 2015

තේරුමක් නැති කතාවක්...


රාජකාරි බහුල එකෝමත් එක හැන්දෑවක මගේ ජංගම දුරකතනේ නොනවත්වාම නාද වෙනවා...

අයියෙ, ඔයා තාම ටවුන් එකේද ඉන්නේ?
ඔව්, මම වැඩ කරන තැන.ඔයා කොහෙද ඉන්නෙ?
මම SLIIT එකේ ඉඳලා එනගමන්.
මේ මහ රෑ? දැන් කොහොමද ඔයා ගෙදර යන්නෙ?
ම්ම්, ඔව් ටිකක් රෑ උනා.ට්‍රයිෂෝ එකක් අරන් යනවා.
තනියම?
ඔව්!
පිස්සුද? මේ, ඔයා ටවුන් එකෙන් බැහැලා Call එකක් දෙන්න.කොහොමත් මම තාම Off උනේ නෑ.
හරි අයිය බෝලේ..

නවත්තපු තැනින් වැඩ පටන්ගන්න හැදුව විතරයි.ආයෙමත්...

අයියෙ, ඔයා ගාව වැඩිපුර සල්ලි තියෙනවද?
කීයක් විතරද, ඇයි මොකටද?
හරි බඩගිනියි අයියෙ, පුළුවන් නම් කෑම එකක් ගන්නවද? මම ආවම ඔයාට සල්ලි දෙන්නම්!
මොනවද කන්නෙ?
බඩ පිරෙන ඕනෙම දෙයක්..
හරි, මම ගන්නම්!
මම ඇවිත් සල්ලි දෙන්නම් හොඳද?
කවුද දැන් සල්ලි ඉල්ලුවෙ, මම කෑම එකක් ගන්නම්.ඔයා පරෙස්සමින් එන්න.
හරි!

Phone එක තියපු මම එක තප්පරෙකට මගේ පර්ස් එක දිග ඇරියා.මුළු පර්ස් එකටම රජ වෙච්ච රුපියල් සීයක් මාත් එක්ක හිනාවෙනවා. "බඩ පිරෙන ඕනෙම දෙයක්!" ඒ කටහඬ ඈතින් ඇහෙන්න ගත්තා.දැන් මොකද කරන්නෙ.පඩියෙන් Advance ගන්න එකක් ගන්නත් විදියක් නෑ Cashier ගිහින්.එකට වැඩකරන එකෙක්ගෙ පිහිට තමයි දැන්!

"මල්ලි, උඹ ගාව තියෙනම් මට රුපියල් දෙසීයක් දියං.මම පඩි ගත්ත ගමන් දෙන්නම්!"

පුද්ගලික රස්සා කරන අපි හැමෝම එක වගේ තමයි.සතයක් අතේ ඉතිරි වෙන්නේ කොහොමද ලැබෙන සොච්චම් පඩියෙ හැටියට.

"දෙසීයක් නෑ බං, සීයක් දෙන්නං..."

වෙලාවෙ හැටියට ඒකත් වටිනා නිසා ඌට පිං දීපු මම රටක් රාජ්ජයක් ලැබුණ වගේ සල්ලි ටික අතට ගුලිකරගෙන ටවුන් එක පැත්තට ආවා.කඩවල ජරා තෙල් කෑම රාක්කවල ඉඳන් අත වනනවා.නොදැක්ක වගේ යන්න ඕනේ! බඩ පුරවන්න බත් එකකට මිසක් වෙන කෑම වලට බෑ.

අන්තිමේ රෑ කඩයක් ගාව නැවතුණු මම, මගේ ඇස් කඩේ හැම තැනකම යැවුවෙ මිල දර්ශනයක් හොයන්න.මොනව කරන්නත් තියෙන්නෙ රුපියල් දෙසීයයි.අන්තිමේ අතේ තියෙන ගානට හරියන්න බත් එකක් ගත්තු මම, බත් පාර්සලේ අතේ එල්ලගෙන එයා එනකල් බලන් හිටියා.

නංගි

එකම ලේ නොවුනත් ඒ මගේ නංගි.අපි අතරෙ තිබුණ සහෝදරකම, මගේ ජීවිතේ මට තිබුණු වටිනම දෙයක්.කොළඹ ඉඳන් එන එයා වෙනුවෙන් මෙච්චර බලාගෙන ඉන්න එකම හේතුවත් ඒ සහෝදරකම.


 

ප.ලි

එදා ඒ සිද්ධිය හුඟ කාලෙකට පස්සෙ මට මතක් වෙන්නත් විශේෂම හේතුව එදා ඒ හිටපු නංගි  අද ජීවතුන් අතර නැති එක.

"අනේ!"

කියවන කෙනෙක් එහෙම කියල දුක් වෙන්න කලින් ඒ කෙනා මැරිලා නෑ නොකිවුවොත් මං බොරුකාරයෙක් වෙනවා...

අපේ ජීවිතවල, අපේ වෙලා ඉඳලා, ජීවිතේ තරම්ම ආදරේ විඳලා, පැදුරටත් නොකියම යන්න ගියාම...  ඒ කෙනා ඊට පස්සෙ අපි අඳුරන්නෙ නැති ගානට වැටුනම, ඒ කෙනා ජීවතුන් අතර ඉන්න කෙනෙක්ද කියන එක මට ප්‍රශ්ණයක්!

"Can I know your name?"
Yes, Of Course!
 "අයියා"

Tuesday, July 21, 2015

පුංචි හිතිවිල්ලකට...


මම ආයෙමත් ආදරේ කරන්න පටන්ගත්තා.පාවෙලා යන හිතිවිල්ලකට.අහිංසක ඒ වගේම කටකාර හිතිවිල්ලකට.කාගෙ කවුද කියලවත් නොදන්න හිතිවිල්ලකට.

මහ පිස්සුවක්නේ... 

මටත් එහෙම හිතෙන වෙලාවල් අනන්තයි.ඒත් ඒ හිතිවිල්ලට පිස්සුවෙන් ආදරේ කරන්න තරම් ඒ හිතිවිල්ලෙ විශේෂත්වයක් තියෙනවා ඇති.කියාගන්න බැරිඋනත් ලියාගන්න අකුරු ගලපගත්තු එකෝමත් එක හැන්දෑවක, මුතු කැට වගේ ඩිජිටල් අකුරින් මම මගේ හිත පා කෙරුවා.

සඳක් සේ තනි අහසෙ
නිසොල්මන් වී හිඳිමි...
ඟක් වී ගලන නුඹ
රැස් කඳින් මගෙ තෙමමි...
තුරුත් ගොමු හමා යන
සුළං සේ ළඟ රැදෙමි...
මසිත් දියඹට වැඩිය
කිඳුරි නුඹ රැකගනිමි...



තත්පර කටුවේ හීනි සද්දෙ පවා හයියෙන් ඇහෙනව වගේ දැණුනා.ඇස් දෙක නොපියවෙච්ච රෑක, තනියට හදවතත් අවදි කරගෙන, මම ඒ කවිය දිහාම බලාගෙන හිටියා.

ලස්සනයි...  

හිතිවිල්ල ඒ විදියට පුංචිම පුංචි උත්තරයක් දුන්නා.තවමත් හිතිවිල්ලට දැනිලා නැතුව ඇති, මේ කවි පේළි  ටික වෙන කාටවත් නෙමෙයි කියලා.කවදාවත්ම මගේ වෙන්නෙ නැති මේ පුංචි හිතිවිල්ල හැමදාම මගේ හදවතේ ලොකූ ඉඩක් අයිතිකරගෙන ඉඳීවි.

පුංචි හිතිවිල්ලේ... මං  ඔයාට ආදරෙයි! 

Saturday, May 16, 2015

හිත ගත්ති...



දෙහිවල හන්දියෙන් මාතර - කොළඹ බස් එකකට ගොඩවුනේ හරි අමාරුවෙන්.සිකුරාදා දවසක් හින්ද වෙන්නැති මේ තරම්  සෙනගක්. කවදත් කොළඹ ඉඳන් එද්දි මට හුරු පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කොන අදත් මං වෙනුවෙන් වෙන්වෙලා තිබුණා.කිසිම දවසක එක්කෙනා දෙන්නෙක් වෙන්නෙ නැති මගේ ජීවිතේ, මේ සීට් කොනේ හැමදාමත් මම තනියම! :-)

එක විනාඩියකට ට්‍රැෆික් එකට අහුවෙලා නවත්තගෙන ඉන්න බස් එකෙන් ඔළුව පොඩ්ඩක් එළියට දාගත්තා.පාරෙන් එහා පැත්තෙ උපකාරක පන්තිද කොහෙද ඉවරවෙලා යන ජෝඩු දෙක තුනක්.අයිස් ක්‍රීම් එක්ක මොනවහරි විහිළුවක් කලවම් කරගෙනද මන්දා, ඒ අය සතුටින් ආදරේ විඳිනවා.මගේ මුණේ කොනකටත් හීනි හිනාවක් ආවෙ හරියට මාත් ඒ ගොඩේ ඉන්නවා වගේ දැණුනු නිසාවත්ද???

ආයෙමත් බස් එක ගමනේ...

එකපාරටම බ්‍රේක් පාරක්! "මෙතන හෝල්ට් එකක් නෙමෙයි නංගි අපේ මනුස්සකමට නැවැත්තුවට" කොන්දොස්තරගෙ සද්දෙ හයියෙන්ම ඇහෙනවත් එක්කම ලැජ්ජාවටද කොහෙද මූණු බිමට හරවගත්ත තරුණියො දෙන්නෙක් බස් එකට ගොඩවුනා.

"හුඟක් ඉස්සරහට යන්න එපා, බහින්න බැරිවෙයි" තරුණියො දෙන්නගෙන්, උපැස් යුවලක් පැළදගෙන හිටි තරුණිය අනිත් කෙනාට මිමිණුවා."මෙහෙට එන්න, මේ පිටිපස්සට" හරියට නිධානයක් හොයාගත්තු කට්ටඩියෙක්ගෙ වගේ උපැස් ඇත්තියගෙ  කටහඬ බස් එක පුරාම විහිදුනා.අතට තුරුල් කරගත්ත පාර්සලේ තව ටිකක් ඇඟට තදකරගන්න ගමන් මේ තරුණියො දෙන්නා දිහා බලන්න මගේ ඇස් දෙකත් පෙලඹුනා.උපැස් ඇත්තිය අනිත් කෙනාට ඉඩ දීලා පැත්තකට උනා.ඒ අවසරයෙන් මගේ එහාපැත්තෙන් වාඩිවෙන්න අනිත් තරුණියට ඉඩක් ලැබුණා.

තවමත් බස් එක ගමනේ...

අළු පාට හෑන්ඩ් බෑග් එකක් උකුලට කරගෙන මගේ එහාපැත්තට වෙලා ඉන්න තරුණියගෙ මූණෙන් පේන්නෙ අනිත් කෙනාටත් වඩා වෙහෙසකර බවක්! ඒ දෙන්නගෙ පුද්ගලික කතාබහක් පටන්ගත්තු නිසා, ආයෙමත් මගේ ඔළුව බස් එකෙන් එළියට දාගෙන පාර පුරාම හිත එහෙමෙහෙ අරගෙන ගියා.

"කළුතරට ටිකට් එකක්!" ආයෙමත් උපැස් ඇත්තියගෙ කටහඬ.   "අළුත්ගමට ටිකට් එකක්!" ඒත් එක්කම හිත ගත්ති තමන්ගෙ ගමනාන්තයත් සටහන් කලා.කළුතරට එහායින්ද අළුත්ගම තියෙන්නෙ.මට එක විනාඩියක් තනියම කතාකරන්න පුළුවන් වේවිද? මම මගේ හිතින්ම ඇහුවා.ජනේලෙන් ඔළුගෙඩිය අහක් කරගත්තු මම, සීට් එකේ පිටිපස්සට ඔළුව බරකරගෙන හාන්සිවුනා.ඇස් දෙක පියවෙන අතරෙ මම වෙනම ලෝකෙක. හිත ගත්ති මගේ ලඟින්ම ඉන්නවා දැණුනා.

අතින් අල්ලගෙන? අපොයි නෑ, තවම අඳුනගත්තා විතරයිනෙ. 

මීදුමක පාවෙලා ටික දුරක් ඇදිල යද්දිම ඇහැරුණා. සීට් එකේ පිටිපස්සට ඔළුව තියාගත්තු හිත ගත්ති හොඳටම නිදි.සීට් එකේ ඉඩමදිකම නිසාම තෙරපිලා ඉන්න ඇගේ හුස්ම ගලන හැටි මටත් හෙමිහිට දැනෙනව වගේ!

"මේ.. මම ඉස්සරහින් බහිනවා එහෙනම්" උපැස් ඇත්තිගෙ කලබල කිරිල්ල නිසා හිත ගත්ති ආයෙමත් පියවි සිහියට ආවා.ඒ කලබලේ නිසාම නාඳුනන  හුස්ම අස්සෙ හිරවෙලා හිටපු මට මගේ ඇස් අහක් කරගන්න ටිකක් වෙලා ගියා.හිත ගත්ති ඒ බව දැක්කත්, කිසිම දෙයක් මට අඟවන්නෙ නැතුව ඉන්න පරිස්සම් වුනා.
"හරි, සඳුදා හම්බුවෙමුකො.පරෙස්සමින් යන්න"
ඒ අවවාදෙ හිත ගත්තිගෙන් උපැස් ඇත්තියට.

බස් එකෙන් යාන්තමට නැගිටලා කළුතර බෝධියට වඳින අතරෙත් මගේ හිතේ දුෂ්ට සිතිවිල්ලක්...
අනේ අළුත්ගමට තව හුඟක් දුර වෙයන්! 

දැන් නිකමටවත් ජනේලෙන් එළියට හිත යවන්න බෑ.හදිස්සියෙවත් නොපෙනෙන්නම බැහැල ගියොත්... තාමත් මගේ නොවෙච්ච හීනෙකට මං ආදරේ කරන තරම්.එක අතකට මහ පිස්සුවක්! කාගෙ කවුද, අයිතිකාරයෙක් ඉන්නවද වත් නොදැන මොකක්ද මම මේ කරන්නෙ.

ඇස් දෙක පියාගෙන ආයෙමත් කල්පනාව පටන්ගත්ත මට දෝංකාර දෙන කටහඬක් ඇහෙනවා.ඒ මොකක්ද, මම ඒ ඇහෙන සද්දෙ පැහැදිලි කරගන්න අමාරු උත්සාහයක.ඒ අතරෙම වම් අතට කවුදෝ තට්ටු කරනවා.

"Excuse Me?" දෙයියනේ හිත ගත්ති මට කතා කරනවා.ඒ මදිවට අතටත් තට්ටු කළා.මම හීනෙන් අවදි වෙලා හිත ගත්ති දිහාම බලාගෙන හිටියා. "Excuse Me? මේ බෑග් එක චුට්ටක් අල්ලගන්නවද?"

බෑග් එක මගේ අතට දුන්නු හිත ගත්ති සීට් එකෙන් නැගිටලා දොර ගාවට කිට්ටු වුනා.හීනයක් නෙමෙයි, මේ හැබෑ ලෝකෙ.හිත ගත්ති මගෙන් ඈතට යන්න හදනවා.පපුව පුරාවට රිදිල්ලක් දැණුනා.

"අළුත්ගම ටිකට් බැහැගන්න" කොන්දොස්තරගේ නපුරු කටහඬ ඇහෙද්දි හිත ගත්ති මගේ දිහාට දෑතම දික් කළා.
"බෑග් එක දෙනවද?" මම කිසිම දෙයක් හිතාගන්න බැරුව බලාගෙන හිටියා.
Thank You!

ම ට  ම ත ක  එ ච් ච ර යි . . .
Powered by Blogger.
click me to reveal the contact form

Get in touch with us:

Name

Email *

Message *

We're currently under construction!

We`re working hard and believe we`ll launch the website in: