හදවත ගැහෙන්නෙකුගේ නිහඬ සිතිවිලි...

Saturday, May 16, 2015

හිත ගත්ති...



දෙහිවල හන්දියෙන් මාතර - කොළඹ බස් එකකට ගොඩවුනේ හරි අමාරුවෙන්.සිකුරාදා දවසක් හින්ද වෙන්නැති මේ තරම්  සෙනගක්. කවදත් කොළඹ ඉඳන් එද්දි මට හුරු පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කොන අදත් මං වෙනුවෙන් වෙන්වෙලා තිබුණා.කිසිම දවසක එක්කෙනා දෙන්නෙක් වෙන්නෙ නැති මගේ ජීවිතේ, මේ සීට් කොනේ හැමදාමත් මම තනියම! :-)

එක විනාඩියකට ට්‍රැෆික් එකට අහුවෙලා නවත්තගෙන ඉන්න බස් එකෙන් ඔළුව පොඩ්ඩක් එළියට දාගත්තා.පාරෙන් එහා පැත්තෙ උපකාරක පන්තිද කොහෙද ඉවරවෙලා යන ජෝඩු දෙක තුනක්.අයිස් ක්‍රීම් එක්ක මොනවහරි විහිළුවක් කලවම් කරගෙනද මන්දා, ඒ අය සතුටින් ආදරේ විඳිනවා.මගේ මුණේ කොනකටත් හීනි හිනාවක් ආවෙ හරියට මාත් ඒ ගොඩේ ඉන්නවා වගේ දැණුනු නිසාවත්ද???

ආයෙමත් බස් එක ගමනේ...

එකපාරටම බ්‍රේක් පාරක්! "මෙතන හෝල්ට් එකක් නෙමෙයි නංගි අපේ මනුස්සකමට නැවැත්තුවට" කොන්දොස්තරගෙ සද්දෙ හයියෙන්ම ඇහෙනවත් එක්කම ලැජ්ජාවටද කොහෙද මූණු බිමට හරවගත්ත තරුණියො දෙන්නෙක් බස් එකට ගොඩවුනා.

"හුඟක් ඉස්සරහට යන්න එපා, බහින්න බැරිවෙයි" තරුණියො දෙන්නගෙන්, උපැස් යුවලක් පැළදගෙන හිටි තරුණිය අනිත් කෙනාට මිමිණුවා."මෙහෙට එන්න, මේ පිටිපස්සට" හරියට නිධානයක් හොයාගත්තු කට්ටඩියෙක්ගෙ වගේ උපැස් ඇත්තියගෙ  කටහඬ බස් එක පුරාම විහිදුනා.අතට තුරුල් කරගත්ත පාර්සලේ තව ටිකක් ඇඟට තදකරගන්න ගමන් මේ තරුණියො දෙන්නා දිහා බලන්න මගේ ඇස් දෙකත් පෙලඹුනා.උපැස් ඇත්තිය අනිත් කෙනාට ඉඩ දීලා පැත්තකට උනා.ඒ අවසරයෙන් මගේ එහාපැත්තෙන් වාඩිවෙන්න අනිත් තරුණියට ඉඩක් ලැබුණා.

තවමත් බස් එක ගමනේ...

අළු පාට හෑන්ඩ් බෑග් එකක් උකුලට කරගෙන මගේ එහාපැත්තට වෙලා ඉන්න තරුණියගෙ මූණෙන් පේන්නෙ අනිත් කෙනාටත් වඩා වෙහෙසකර බවක්! ඒ දෙන්නගෙ පුද්ගලික කතාබහක් පටන්ගත්තු නිසා, ආයෙමත් මගේ ඔළුව බස් එකෙන් එළියට දාගෙන පාර පුරාම හිත එහෙමෙහෙ අරගෙන ගියා.

"කළුතරට ටිකට් එකක්!" ආයෙමත් උපැස් ඇත්තියගෙ කටහඬ.   "අළුත්ගමට ටිකට් එකක්!" ඒත් එක්කම හිත ගත්ති තමන්ගෙ ගමනාන්තයත් සටහන් කලා.කළුතරට එහායින්ද අළුත්ගම තියෙන්නෙ.මට එක විනාඩියක් තනියම කතාකරන්න පුළුවන් වේවිද? මම මගේ හිතින්ම ඇහුවා.ජනේලෙන් ඔළුගෙඩිය අහක් කරගත්තු මම, සීට් එකේ පිටිපස්සට ඔළුව බරකරගෙන හාන්සිවුනා.ඇස් දෙක පියවෙන අතරෙ මම වෙනම ලෝකෙක. හිත ගත්ති මගේ ලඟින්ම ඉන්නවා දැණුනා.

අතින් අල්ලගෙන? අපොයි නෑ, තවම අඳුනගත්තා විතරයිනෙ. 

මීදුමක පාවෙලා ටික දුරක් ඇදිල යද්දිම ඇහැරුණා. සීට් එකේ පිටිපස්සට ඔළුව තියාගත්තු හිත ගත්ති හොඳටම නිදි.සීට් එකේ ඉඩමදිකම නිසාම තෙරපිලා ඉන්න ඇගේ හුස්ම ගලන හැටි මටත් හෙමිහිට දැනෙනව වගේ!

"මේ.. මම ඉස්සරහින් බහිනවා එහෙනම්" උපැස් ඇත්තිගෙ කලබල කිරිල්ල නිසා හිත ගත්ති ආයෙමත් පියවි සිහියට ආවා.ඒ කලබලේ නිසාම නාඳුනන  හුස්ම අස්සෙ හිරවෙලා හිටපු මට මගේ ඇස් අහක් කරගන්න ටිකක් වෙලා ගියා.හිත ගත්ති ඒ බව දැක්කත්, කිසිම දෙයක් මට අඟවන්නෙ නැතුව ඉන්න පරිස්සම් වුනා.
"හරි, සඳුදා හම්බුවෙමුකො.පරෙස්සමින් යන්න"
ඒ අවවාදෙ හිත ගත්තිගෙන් උපැස් ඇත්තියට.

බස් එකෙන් යාන්තමට නැගිටලා කළුතර බෝධියට වඳින අතරෙත් මගේ හිතේ දුෂ්ට සිතිවිල්ලක්...
අනේ අළුත්ගමට තව හුඟක් දුර වෙයන්! 

දැන් නිකමටවත් ජනේලෙන් එළියට හිත යවන්න බෑ.හදිස්සියෙවත් නොපෙනෙන්නම බැහැල ගියොත්... තාමත් මගේ නොවෙච්ච හීනෙකට මං ආදරේ කරන තරම්.එක අතකට මහ පිස්සුවක්! කාගෙ කවුද, අයිතිකාරයෙක් ඉන්නවද වත් නොදැන මොකක්ද මම මේ කරන්නෙ.

ඇස් දෙක පියාගෙන ආයෙමත් කල්පනාව පටන්ගත්ත මට දෝංකාර දෙන කටහඬක් ඇහෙනවා.ඒ මොකක්ද, මම ඒ ඇහෙන සද්දෙ පැහැදිලි කරගන්න අමාරු උත්සාහයක.ඒ අතරෙම වම් අතට කවුදෝ තට්ටු කරනවා.

"Excuse Me?" දෙයියනේ හිත ගත්ති මට කතා කරනවා.ඒ මදිවට අතටත් තට්ටු කළා.මම හීනෙන් අවදි වෙලා හිත ගත්ති දිහාම බලාගෙන හිටියා. "Excuse Me? මේ බෑග් එක චුට්ටක් අල්ලගන්නවද?"

බෑග් එක මගේ අතට දුන්නු හිත ගත්ති සීට් එකෙන් නැගිටලා දොර ගාවට කිට්ටු වුනා.හීනයක් නෙමෙයි, මේ හැබෑ ලෝකෙ.හිත ගත්ති මගෙන් ඈතට යන්න හදනවා.පපුව පුරාවට රිදිල්ලක් දැණුනා.

"අළුත්ගම ටිකට් බැහැගන්න" කොන්දොස්තරගේ නපුරු කටහඬ ඇහෙද්දි හිත ගත්ති මගේ දිහාට දෑතම දික් කළා.
"බෑග් එක දෙනවද?" මම කිසිම දෙයක් හිතාගන්න බැරුව බලාගෙන හිටියා.
Thank You!

ම ට  ම ත ක  එ ච් ච ර යි . . .
Powered by Blogger.
click me to reveal the contact form

Get in touch with us:

Name

Email *

Message *

We're currently under construction!

We`re working hard and believe we`ll launch the website in: