හදවත ගැහෙන්නෙකුගේ නිහඬ සිතිවිලි...

Friday, October 23, 2015

තේරුමක් නැති කතාවක්...


රාජකාරි බහුල එකෝමත් එක හැන්දෑවක මගේ ජංගම දුරකතනේ නොනවත්වාම නාද වෙනවා...

අයියෙ, ඔයා තාම ටවුන් එකේද ඉන්නේ?
ඔව්, මම වැඩ කරන තැන.ඔයා කොහෙද ඉන්නෙ?
මම SLIIT එකේ ඉඳලා එනගමන්.
මේ මහ රෑ? දැන් කොහොමද ඔයා ගෙදර යන්නෙ?
ම්ම්, ඔව් ටිකක් රෑ උනා.ට්‍රයිෂෝ එකක් අරන් යනවා.
තනියම?
ඔව්!
පිස්සුද? මේ, ඔයා ටවුන් එකෙන් බැහැලා Call එකක් දෙන්න.කොහොමත් මම තාම Off උනේ නෑ.
හරි අයිය බෝලේ..

නවත්තපු තැනින් වැඩ පටන්ගන්න හැදුව විතරයි.ආයෙමත්...

අයියෙ, ඔයා ගාව වැඩිපුර සල්ලි තියෙනවද?
කීයක් විතරද, ඇයි මොකටද?
හරි බඩගිනියි අයියෙ, පුළුවන් නම් කෑම එකක් ගන්නවද? මම ආවම ඔයාට සල්ලි දෙන්නම්!
මොනවද කන්නෙ?
බඩ පිරෙන ඕනෙම දෙයක්..
හරි, මම ගන්නම්!
මම ඇවිත් සල්ලි දෙන්නම් හොඳද?
කවුද දැන් සල්ලි ඉල්ලුවෙ, මම කෑම එකක් ගන්නම්.ඔයා පරෙස්සමින් එන්න.
හරි!

Phone එක තියපු මම එක තප්පරෙකට මගේ පර්ස් එක දිග ඇරියා.මුළු පර්ස් එකටම රජ වෙච්ච රුපියල් සීයක් මාත් එක්ක හිනාවෙනවා. "බඩ පිරෙන ඕනෙම දෙයක්!" ඒ කටහඬ ඈතින් ඇහෙන්න ගත්තා.දැන් මොකද කරන්නෙ.පඩියෙන් Advance ගන්න එකක් ගන්නත් විදියක් නෑ Cashier ගිහින්.එකට වැඩකරන එකෙක්ගෙ පිහිට තමයි දැන්!

"මල්ලි, උඹ ගාව තියෙනම් මට රුපියල් දෙසීයක් දියං.මම පඩි ගත්ත ගමන් දෙන්නම්!"

පුද්ගලික රස්සා කරන අපි හැමෝම එක වගේ තමයි.සතයක් අතේ ඉතිරි වෙන්නේ කොහොමද ලැබෙන සොච්චම් පඩියෙ හැටියට.

"දෙසීයක් නෑ බං, සීයක් දෙන්නං..."

වෙලාවෙ හැටියට ඒකත් වටිනා නිසා ඌට පිං දීපු මම රටක් රාජ්ජයක් ලැබුණ වගේ සල්ලි ටික අතට ගුලිකරගෙන ටවුන් එක පැත්තට ආවා.කඩවල ජරා තෙල් කෑම රාක්කවල ඉඳන් අත වනනවා.නොදැක්ක වගේ යන්න ඕනේ! බඩ පුරවන්න බත් එකකට මිසක් වෙන කෑම වලට බෑ.

අන්තිමේ රෑ කඩයක් ගාව නැවතුණු මම, මගේ ඇස් කඩේ හැම තැනකම යැවුවෙ මිල දර්ශනයක් හොයන්න.මොනව කරන්නත් තියෙන්නෙ රුපියල් දෙසීයයි.අන්තිමේ අතේ තියෙන ගානට හරියන්න බත් එකක් ගත්තු මම, බත් පාර්සලේ අතේ එල්ලගෙන එයා එනකල් බලන් හිටියා.

නංගි

එකම ලේ නොවුනත් ඒ මගේ නංගි.අපි අතරෙ තිබුණ සහෝදරකම, මගේ ජීවිතේ මට තිබුණු වටිනම දෙයක්.කොළඹ ඉඳන් එන එයා වෙනුවෙන් මෙච්චර බලාගෙන ඉන්න එකම හේතුවත් ඒ සහෝදරකම.


 

ප.ලි

එදා ඒ සිද්ධිය හුඟ කාලෙකට පස්සෙ මට මතක් වෙන්නත් විශේෂම හේතුව එදා ඒ හිටපු නංගි  අද ජීවතුන් අතර නැති එක.

"අනේ!"

කියවන කෙනෙක් එහෙම කියල දුක් වෙන්න කලින් ඒ කෙනා මැරිලා නෑ නොකිවුවොත් මං බොරුකාරයෙක් වෙනවා...

අපේ ජීවිතවල, අපේ වෙලා ඉඳලා, ජීවිතේ තරම්ම ආදරේ විඳලා, පැදුරටත් නොකියම යන්න ගියාම...  ඒ කෙනා ඊට පස්සෙ අපි අඳුරන්නෙ නැති ගානට වැටුනම, ඒ කෙනා ජීවතුන් අතර ඉන්න කෙනෙක්ද කියන එක මට ප්‍රශ්ණයක්!

"Can I know your name?"
Yes, Of Course!
 "අයියා"

Tuesday, July 21, 2015

පුංචි හිතිවිල්ලකට...


මම ආයෙමත් ආදරේ කරන්න පටන්ගත්තා.පාවෙලා යන හිතිවිල්ලකට.අහිංසක ඒ වගේම කටකාර හිතිවිල්ලකට.කාගෙ කවුද කියලවත් නොදන්න හිතිවිල්ලකට.

මහ පිස්සුවක්නේ... 

මටත් එහෙම හිතෙන වෙලාවල් අනන්තයි.ඒත් ඒ හිතිවිල්ලට පිස්සුවෙන් ආදරේ කරන්න තරම් ඒ හිතිවිල්ලෙ විශේෂත්වයක් තියෙනවා ඇති.කියාගන්න බැරිඋනත් ලියාගන්න අකුරු ගලපගත්තු එකෝමත් එක හැන්දෑවක, මුතු කැට වගේ ඩිජිටල් අකුරින් මම මගේ හිත පා කෙරුවා.

සඳක් සේ තනි අහසෙ
නිසොල්මන් වී හිඳිමි...
ඟක් වී ගලන නුඹ
රැස් කඳින් මගෙ තෙමමි...
තුරුත් ගොමු හමා යන
සුළං සේ ළඟ රැදෙමි...
මසිත් දියඹට වැඩිය
කිඳුරි නුඹ රැකගනිමි...



තත්පර කටුවේ හීනි සද්දෙ පවා හයියෙන් ඇහෙනව වගේ දැණුනා.ඇස් දෙක නොපියවෙච්ච රෑක, තනියට හදවතත් අවදි කරගෙන, මම ඒ කවිය දිහාම බලාගෙන හිටියා.

ලස්සනයි...  

හිතිවිල්ල ඒ විදියට පුංචිම පුංචි උත්තරයක් දුන්නා.තවමත් හිතිවිල්ලට දැනිලා නැතුව ඇති, මේ කවි පේළි  ටික වෙන කාටවත් නෙමෙයි කියලා.කවදාවත්ම මගේ වෙන්නෙ නැති මේ පුංචි හිතිවිල්ල හැමදාම මගේ හදවතේ ලොකූ ඉඩක් අයිතිකරගෙන ඉඳීවි.

පුංචි හිතිවිල්ලේ... මං  ඔයාට ආදරෙයි! 

Saturday, May 16, 2015

හිත ගත්ති...



දෙහිවල හන්දියෙන් මාතර - කොළඹ බස් එකකට ගොඩවුනේ හරි අමාරුවෙන්.සිකුරාදා දවසක් හින්ද වෙන්නැති මේ තරම්  සෙනගක්. කවදත් කොළඹ ඉඳන් එද්දි මට හුරු පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තෙ කොන අදත් මං වෙනුවෙන් වෙන්වෙලා තිබුණා.කිසිම දවසක එක්කෙනා දෙන්නෙක් වෙන්නෙ නැති මගේ ජීවිතේ, මේ සීට් කොනේ හැමදාමත් මම තනියම! :-)

එක විනාඩියකට ට්‍රැෆික් එකට අහුවෙලා නවත්තගෙන ඉන්න බස් එකෙන් ඔළුව පොඩ්ඩක් එළියට දාගත්තා.පාරෙන් එහා පැත්තෙ උපකාරක පන්තිද කොහෙද ඉවරවෙලා යන ජෝඩු දෙක තුනක්.අයිස් ක්‍රීම් එක්ක මොනවහරි විහිළුවක් කලවම් කරගෙනද මන්දා, ඒ අය සතුටින් ආදරේ විඳිනවා.මගේ මුණේ කොනකටත් හීනි හිනාවක් ආවෙ හරියට මාත් ඒ ගොඩේ ඉන්නවා වගේ දැණුනු නිසාවත්ද???

ආයෙමත් බස් එක ගමනේ...

එකපාරටම බ්‍රේක් පාරක්! "මෙතන හෝල්ට් එකක් නෙමෙයි නංගි අපේ මනුස්සකමට නැවැත්තුවට" කොන්දොස්තරගෙ සද්දෙ හයියෙන්ම ඇහෙනවත් එක්කම ලැජ්ජාවටද කොහෙද මූණු බිමට හරවගත්ත තරුණියො දෙන්නෙක් බස් එකට ගොඩවුනා.

"හුඟක් ඉස්සරහට යන්න එපා, බහින්න බැරිවෙයි" තරුණියො දෙන්නගෙන්, උපැස් යුවලක් පැළදගෙන හිටි තරුණිය අනිත් කෙනාට මිමිණුවා."මෙහෙට එන්න, මේ පිටිපස්සට" හරියට නිධානයක් හොයාගත්තු කට්ටඩියෙක්ගෙ වගේ උපැස් ඇත්තියගෙ  කටහඬ බස් එක පුරාම විහිදුනා.අතට තුරුල් කරගත්ත පාර්සලේ තව ටිකක් ඇඟට තදකරගන්න ගමන් මේ තරුණියො දෙන්නා දිහා බලන්න මගේ ඇස් දෙකත් පෙලඹුනා.උපැස් ඇත්තිය අනිත් කෙනාට ඉඩ දීලා පැත්තකට උනා.ඒ අවසරයෙන් මගේ එහාපැත්තෙන් වාඩිවෙන්න අනිත් තරුණියට ඉඩක් ලැබුණා.

තවමත් බස් එක ගමනේ...

අළු පාට හෑන්ඩ් බෑග් එකක් උකුලට කරගෙන මගේ එහාපැත්තට වෙලා ඉන්න තරුණියගෙ මූණෙන් පේන්නෙ අනිත් කෙනාටත් වඩා වෙහෙසකර බවක්! ඒ දෙන්නගෙ පුද්ගලික කතාබහක් පටන්ගත්තු නිසා, ආයෙමත් මගේ ඔළුව බස් එකෙන් එළියට දාගෙන පාර පුරාම හිත එහෙමෙහෙ අරගෙන ගියා.

"කළුතරට ටිකට් එකක්!" ආයෙමත් උපැස් ඇත්තියගෙ කටහඬ.   "අළුත්ගමට ටිකට් එකක්!" ඒත් එක්කම හිත ගත්ති තමන්ගෙ ගමනාන්තයත් සටහන් කලා.කළුතරට එහායින්ද අළුත්ගම තියෙන්නෙ.මට එක විනාඩියක් තනියම කතාකරන්න පුළුවන් වේවිද? මම මගේ හිතින්ම ඇහුවා.ජනේලෙන් ඔළුගෙඩිය අහක් කරගත්තු මම, සීට් එකේ පිටිපස්සට ඔළුව බරකරගෙන හාන්සිවුනා.ඇස් දෙක පියවෙන අතරෙ මම වෙනම ලෝකෙක. හිත ගත්ති මගේ ලඟින්ම ඉන්නවා දැණුනා.

අතින් අල්ලගෙන? අපොයි නෑ, තවම අඳුනගත්තා විතරයිනෙ. 

මීදුමක පාවෙලා ටික දුරක් ඇදිල යද්දිම ඇහැරුණා. සීට් එකේ පිටිපස්සට ඔළුව තියාගත්තු හිත ගත්ති හොඳටම නිදි.සීට් එකේ ඉඩමදිකම නිසාම තෙරපිලා ඉන්න ඇගේ හුස්ම ගලන හැටි මටත් හෙමිහිට දැනෙනව වගේ!

"මේ.. මම ඉස්සරහින් බහිනවා එහෙනම්" උපැස් ඇත්තිගෙ කලබල කිරිල්ල නිසා හිත ගත්ති ආයෙමත් පියවි සිහියට ආවා.ඒ කලබලේ නිසාම නාඳුනන  හුස්ම අස්සෙ හිරවෙලා හිටපු මට මගේ ඇස් අහක් කරගන්න ටිකක් වෙලා ගියා.හිත ගත්ති ඒ බව දැක්කත්, කිසිම දෙයක් මට අඟවන්නෙ නැතුව ඉන්න පරිස්සම් වුනා.
"හරි, සඳුදා හම්බුවෙමුකො.පරෙස්සමින් යන්න"
ඒ අවවාදෙ හිත ගත්තිගෙන් උපැස් ඇත්තියට.

බස් එකෙන් යාන්තමට නැගිටලා කළුතර බෝධියට වඳින අතරෙත් මගේ හිතේ දුෂ්ට සිතිවිල්ලක්...
අනේ අළුත්ගමට තව හුඟක් දුර වෙයන්! 

දැන් නිකමටවත් ජනේලෙන් එළියට හිත යවන්න බෑ.හදිස්සියෙවත් නොපෙනෙන්නම බැහැල ගියොත්... තාමත් මගේ නොවෙච්ච හීනෙකට මං ආදරේ කරන තරම්.එක අතකට මහ පිස්සුවක්! කාගෙ කවුද, අයිතිකාරයෙක් ඉන්නවද වත් නොදැන මොකක්ද මම මේ කරන්නෙ.

ඇස් දෙක පියාගෙන ආයෙමත් කල්පනාව පටන්ගත්ත මට දෝංකාර දෙන කටහඬක් ඇහෙනවා.ඒ මොකක්ද, මම ඒ ඇහෙන සද්දෙ පැහැදිලි කරගන්න අමාරු උත්සාහයක.ඒ අතරෙම වම් අතට කවුදෝ තට්ටු කරනවා.

"Excuse Me?" දෙයියනේ හිත ගත්ති මට කතා කරනවා.ඒ මදිවට අතටත් තට්ටු කළා.මම හීනෙන් අවදි වෙලා හිත ගත්ති දිහාම බලාගෙන හිටියා. "Excuse Me? මේ බෑග් එක චුට්ටක් අල්ලගන්නවද?"

බෑග් එක මගේ අතට දුන්නු හිත ගත්ති සීට් එකෙන් නැගිටලා දොර ගාවට කිට්ටු වුනා.හීනයක් නෙමෙයි, මේ හැබෑ ලෝකෙ.හිත ගත්ති මගෙන් ඈතට යන්න හදනවා.පපුව පුරාවට රිදිල්ලක් දැණුනා.

"අළුත්ගම ටිකට් බැහැගන්න" කොන්දොස්තරගේ නපුරු කටහඬ ඇහෙද්දි හිත ගත්ති මගේ දිහාට දෑතම දික් කළා.
"බෑග් එක දෙනවද?" මම කිසිම දෙයක් හිතාගන්න බැරුව බලාගෙන හිටියා.
Thank You!

ම ට  ම ත ක  එ ච් ච ර යි . . .

Sunday, February 22, 2015

දුක හාදු දෙන රැයේ...


ජීවිතේ අමුතුම විදියකට ගලාගෙන යනවා.ස්කූටියට නැගල හැන්දෑවෙ ගෙදරින් පිටත් උනාම නවතින්නෙ ගාලු කොටුවෙ.Taphouse by RNR පේන තෙක් මානෙ බංකුවක ඉඳගෙන, ඒකෙන් ඇහෙන හීනි සංගීතෙට නැලවි නැලවි, මූදු හුළඟට හාදු දිදී, හිත කොහේදෝ දුර ඈතක ගිහින්.

ඈතකට දුවපු හිත, ආයෙමත් වත්තන් කරගෙන ස්කූටියට නැග්ග මගේ ඊළග නැවතුම උනේ Keells Super බේකරිය.

රෑ අට වෙද්දි සියට පනහක් අඩුවට ලැබෙන සීනි සම්බෝල බනිස් ගෙඩියක් එක්ක, නෙස්කැෆේ කෝප්පයක් උණු උණුවෙම තොලට ලංකරගෙන නිවිහැනහිල්ලෙ ජීවිතේ රහ තනියෙන්ම වින්දා.


"දුක හාදු දෙන රැයේ,
හිත පතුලටම වෙලා...
යෞවනේ අගට විය විරහී,
හද ගිලන් වෙලා..."


පපුව පිච්චෙනව වගේ දැණුනෙ බීපු නෙස්කැෆේ උගුරෙ රස්නෙටද,  කපුගේගෙ ඒ සිංදුවටද කියල මම තාමත් කල්පනා කරනවා...
Powered by Blogger.
click me to reveal the contact form

Get in touch with us:

Name

Email *

Message *

We're currently under construction!

We`re working hard and believe we`ll launch the website in: